දේශීය පුවත්

ජනපති උපදෙසින් අධිවේගයටත් සාමාන්‍ය බස්රථ යෙදවීමේ තීරණයක්

ප්‍රවාහන සේවාව නගාසිටුවීමේ පළමු පියවර ලෙස මගීන්ට හොඳ මානසිකත්වයකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන් කිරීමට පසුබිම සකසන්න ඉතා කුඩා ආරම්භයකින් ලොකු වෙනසක් කරන්න පුළුවන්. බස් රථය සෝදා පිරිසිදු කර මගීන්ට අසුන්ගෙන යාමට සැලසීම හෙටම පටන් ගන්න” යැයි ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ (18) පැවති සාකච්ඡාවේදීයි.

හොඳ තත්ත්වයේ ඇති සාමාන්‍ය බස් රථ අධිවේගී මාර්ගයේ ධාවනයට එක් කිරීමෙන් අඩු මුදලකට මගීන් විශාල පිරිසකට ගමන් පහසුකම් සැලසීමේ හැකියාව ඇති බවත් ජනාධිපතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

පෝස්ටර් ඇලවීම නතර කිරීමට ගත් කුඩා තීරණයෙන් රටේ සියලු නගර පවිත්‍රව තබා ගැනීමට හැකි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම ක්ෂේත්‍රයකම සංවර්ධනය ඉතා කුඩා තැනකින් ඇරඹිය හැකි බවද සඳහන් කළේය.

මෝටර් රථයෙන් පැමිණ එය නතර කොට තබා බස් රථයෙන් සේවා ස්ථානයට ගමන් කිරීමේ ක්‍රමය (Park & drive) කඩිනමින් ක්‍රියාත්මක කර මාර්ග තදබදය විසඳීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගමනාගමන මණ්ඩලය විසින් බස් ධාවනය සේවාවක් ලෙස පවත්වාගෙන ගියද පාඩු නොලබන ආයතනයක් විය යුතු බවත් ග්‍රාමීය ප්‍රදේශවල බස් රථ ධාවනය පිළිබඳ රජයේ සහ පෞද්ගලික දෙඅංශයම අවධානය යොමු කළ යුතු බවත් හෙතෙම පැවැසීය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දූෂණ සහ අක්‍රමිකතාවන්ගෙන් තොර ආයතනයක් බවට පත් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ, බස්රථ ප්‍රවාහන සේවා රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, ප්‍රවාහන ලේකම් එන්.බී. මොන්ටි රණතුංග ඇතුළු නිලධාරීහු සහ පෞද්ගලික බස් සංගම් නියෝජිතයෝ ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button