චොකා මල්ලිට මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙන්න බැහැ – නීතිපතිගෙන් දැනුම් දීමක්

මරණ දඩුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට (චොකා මල්ලි) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම සඳහා නීත්‍යානුකූල අයිතියක් නොමැති බව නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යංශය වෙත දැනුම් දී තිබෙනවා.
මෙවර මහ මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකර මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කර තිබූ ඉල්ලීමට අනුව අධිකරණය අමාත්‍යංශය කල විමසීමට ප්‍රතිචාර දක්වමිනුයි නීතිපතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ.
පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින තමන්ට මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙසයි ප්‍රේමලාල් ජයසේකර මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුනේ.
පසුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව එම ඉල්ලීම අධිකරණ අමාතයංශය වෙත යොමු කර තිබූ අතර ඒ අනුවයි අධිකරණ අමාත්‍යංශය නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබූණේ.
ඡන්ද දායකයෙකු සහ මන්ත්‍රීවරයෙකු වීමට ඇති නුසුදුසුකම් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන උපුටා දක්වමින් නීතිපතිවරයා ඊට පිළිතුරු ලිපියක් යොමුකර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු නිවුස් රේඩියෝවට කියා සිටියේ.
ප්‍රේමලාල් ජයසේකර මහතාට මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම සඳහා හැකියාවක් නොමැති බව නීතිපතිවරයා එමගින් පෙන්වා දී ඇතැයිද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම සඳහා ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුව වෙත කැඳවාගෙන එන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පෙරේදා පාර්ලිමේන්තුවේදී සඳහන් කලා.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් පාර්ලිමේන්තුවෙන් මේ දක්වා තමන් වෙත ලැබී නොමැති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ.
අදාල දැනුම්දීම පාර්ලිමේන්තුවෙන් ලිඛිතව ලැබුනු පසු ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ උපදෙස් ලබාගැනීමට බලාපොරොත්තු වන බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.
2015 ජනාධිපතිවරණය සමයේදී විපක්ෂ ක්‍රියාකාරියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට අදාලවයි ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුලු චූදිතයන් 03 දෙනෙකුට පසුගියදා රත්නපුර මහාධිකරණයෙන් මරණ දඩුවම නියම කළේ.