දේශපාලන පුවත්

චන්ද්‍රිකා මහින්දට සලකපු විදියට තමයි අපිට දැන් සලකන්නේ

සන්ධානය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ඉදිරියට යාමට කටයුතු කරන බව ශ්‍රීලනිප මහ ලේකම් බතික්,අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (17) සිය අමාත්‍යාංශයේ දී වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත්කරගැනීම සඳහා සියලු දෙනා එකට එකතු වී සන්ධානයක් ලෙස කටයුතු කළ අතර ආණ්ඩුව පත්කරගැනීම සඳහාත් එම ක්‍රියාවලියම යොදාගත් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

කෙසේ වෙතත් සන්ධානය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනත් තැනකට සම්බන්ධ කිරීමට කටයුතු කර නොමැති අතර තවදුරටත් පක්ෂයේ අනන්‍යතාව ආරක්ෂා කරන බවයි ඔහු අවධාරණය කළේ.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ තුන්වෙනි බලවේගය බවට පත්ව ඇති අතර මන්ත්‍රීවරු 14 දෙනා හද ගැනීම සඳහා විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදු වූ බවද දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරන ලදී.

සන්ධානය තුළම ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වූ බවයි ඔහු කියා සිටියේ.

මේ අතර ලැබී තිබෙන අමාත්‍යාංශය සම්බන්ධයෙන් තෘප්තිමත් වී කටයුතු කරන බවත් ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමට අවශ්‍ය නොවන බවත් හෙතෙම පැවසුවේය.

”1994 චන්ද්‍රිකා මැතිණිය මහින්ද රාජපක්ෂ මහතාට සලකපු සැලකිල්ල තමයි දැන් කරලා තියෙන්නෙත්. මම කලබල වෙන්නේ නැහැ. අභියෝගය භාරගන්නවා.” යනුවෙන් වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.

Back to top button