දේශීය පුවත්

ගිනි ගත් නෞකාවේ ගින්න නිවීමේ මෙහෙයුම සඳහා යාත්‍රා 14ක දායකත්වය

නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමකට ලක්වූ නිව් ඩයමන්ඞ් නෞකාවේ ගින්න නිවීම සඳහා මේ වනවිට නෞකා 09 ක් සහ ටග් යාත්‍රා 05 ක් සක්‍රීයව දායකත්වය සපයමින් සිටින බව නාවික හමුදාව පවසනවා.

ශ්‍රී ලංකා නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රා තුනක් හා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා දෙකක් සැපයුම් යාත්‍රා වශයෙන් මෙම මෙහෙයුමට එක්ව සිටින බවයි නාවික හමුදාව නිවේදනය කලේ.

ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් දුරින් ගැඹුරු මුහුදේ නෞකාව රඳවාගෙන මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි.

නිව් ඩයමන්ඞ් නෞකාවේ වාණිජ හිමිකරු වන ග්‍රීසියේ ඇතෑන්ස් නුවර පිහිටි ආයතනයක් විසින් ආපදා ගැලවුම්කාර පාර්ශවය ලෙස සිංගප්පූරුවේ සිට ක්‍රියාත්මක ජාත්‍යන්තර ආයතනයක් පත් කර තිබෙනවා.

එම ආයතනය විසින් මේ වන විට මෙම ආපදා ගැලවුම් සඳහා බොරතෙල් සම්බන්ධව විශේෂඥ දැනුම ඇති පුද්ගලයින් හා උපකරණ නිව් ඩයමන්ඞ් නෞකාව වෙත යොමු කරමින් පවතිනවා.

ආපදාවට ලක් වූ මෙම නෞකාව සමඟ ඇති ටීටීටී 1 නමැති ටග් යාත්‍රාවේ මෙවැනි ආපදා සම්බන්ධව කටයුතු කල හැකි ගලවාගැනීමේ විශේෂඥ ප්‍රධානියෙකු ඇතුළු කණ්ඩායමක් සිටින අතර, එම ටග් යාත්‍රාව හා එකතුවීමට බොරතෙල් නැව් හැසිරවිය හැකි විශාල ප්‍රමාණයේ ටග් යාත්‍රා දෙකක් සිංගප්පූරුව සහ මොරිෂස් යන රටවල් වෙතින් මේවන විටත් පිටත්ව අවසන්.

මේ අනුව අද උදෑසන කාලයේදී මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීතී උපදේශකයෙකු ද ඇතුළු 10 දෙනෙකුත් යුත් බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතයි.

නෞකාවේ ආපදා කළමණාකරන කටයුතු විමර්ශනය කර ඉදිරි කටයුතු සැළසුම් කළ යුතු ආකාරය පිළිබඳ අවශ්‍ය නිර්දේශ ඔවුන් විසින් ලබා දෙනු ඇති.

මීට අමතරව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ගිණි නිවීමේ නිලධාරී ඇතුළු කණ්ඩායමක්ද මෙම ආපදාවට පත් නෞකාව නිරීක්ෂණය සඳහා අද එක්වීමට නියමිත බව නාවික හමුදාව සඳහන් කලා.

එමෙන්ම ඉන්දියානු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් ගුවන් යානාවක් මත්තල ගුවන්තොටුපලෙන් ගුවන්ගත වී ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතු වල අද දින නියැලීමට නියමිතයි.

ඩයමන්ඞ් නෞකාවේ ගින්න පැතිරයාම මේ වන විට සාර්ථකව පාලනය කර ඇති අතර, එම නෞකාව මගින් සාගරයට තෙල් කාන්දුවීමේ කිසිදු අවධානමක් නොමැති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button