දේශීය පුවත්

ගාල්ලට ඇදහැලුණු වැස්සෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

ගාල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති තද වැසි තත්ත්වය හේතුවෙන් නාය යෑමේ අවදානමක් මතුව ඇතැයි ගාල්ල ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනල් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසීය.

ඇල්පිටිය සහ නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල මෙම අවදානම පවතින බවත් එම ප්‍රදේශ වල සිටින ජනාතාවට විමසිල්ලෙන් සිටින ලෙසත් ගාල්ල ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ද අනතුරු ඇඟවීමේ දැන්වීම් මේ වන විට නිකුත් කර ඇතැයි ද සහකාර අධ්‍යක්ෂවරයා කීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකම පහත්බිම් මේ වෙන විට ජලයෙන් යට වී ඇතැයිද සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ අතර වැහිසහිත කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6කට අයත් පවුල් 1642ක පුද්ගලයින් 7031ක් විපතට පත්ව ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

බෝපේ පොද්දල ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ පදිංචි අයකු තුවාල ලබා සිටින අතර අර්ධ වශයෙන් නිවාස 20කට හානි වී ඇති බවද ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත්සතර,බොපේ පොද්දල, අක්මීමන, නියාගම, ඇල්පිටිය හා නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම වැහි සහිත කාලගුණික තත්වය බලපා ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

හානියට පත් නිවාස සදහා අවශ්‍ය අරමුදල් ඒ ඒ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිදහස් කිරීමට කටයුතු කර ඇති බව පවසන ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා විපතට පත්වුවන් වෙනුවෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගෙන ඇති බවද සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button