දේශීය පුවත්

කොවිඩ් 19 පාලනය කිරීමේ ශ්‍රී ලංකාවේ ක්‍රියාදාමයන් ලෝක බැංකුවේ ප්‍රශංසාවට ලක්වෙයි – Video

කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීමේ ශ්‍රී ලංකාවේ ක්‍රියාදාමයන් ලෝක බැංකුවේ ප්‍රශංසාවට ලක්ව තිබෙනවා.

 

ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් සර්වෝස් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ හමුවූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් සිය සුබ පැතුම් පිරිනැමුවා.

 

මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් සර්වෝස් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

 

වසර ගණනාවක් පුරා ලෝක බැංකුව හා ශ්‍රී ලංකාව අතර පවත්නා සමීප සහයෝගිතාව සම්බන්ධයෙන් සතුට පළ කළ ලෝක බැංකු නියෝජිතයන් නව රජය සමඟ ද එම සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වාගෙන යන බවට ද සහතික වී තිබෙනවා.

 

කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කර ගැනීමෙන් පසුව ආර්ථික, කෘෂි කාර්මික සහ යටිතල පහසුකම් යන සියලු ක්ෂේත්‍රවල වර්ධනයක් අත්පත් කර ගැනීමට රජය ප්‍රමුඛතාව ලබා දී ඇති  බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා   මෙහිදී සඳහන් කළා.

 

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මික නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම මෙන්ම ශ්‍රී ලාංකේය සන්නාමය සහිත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට හඳුන්වාදීමේ අවස්ථාවන් පිළිබඳව මෙහිදී අවධානයට යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවා.

 

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ මීළඟ පියවර ලෙස ලෝක පුරා විනෝදාස්වාද කර්මාන්තය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ආකර්ශනය කර ගැනීමට ශ්‍රී ලංකාවට ඉදිරියේදී හැකියාව ඇති බව ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් සර්වෝස් මහතා මෙහිදී පෙන්වා දුන්නා.

 

Leave a Reply

Your email address will not be published.

Back to top button