Uncategorized

කොරෝනා වෛරසය – වැඩිහිටි ප්‍රජාවට ප්‍රවේසම් වෙන්නැයි ඉල්ලීමක්

කොවිඩ්-19 වෛරසයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මුදවාගැනීම සඳහා ගතයුතු සෞඛ්‍ය පිළිවෙත් දන්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරුණ, වැඩිහිටි සහ ආබාධ සහිත ඒකකය සහ වැඩිහිටි මහලේකම් කර්යාලය විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත්කර තිබේ.

ලක්ෂ 30කට අධික වැඩිහිටි ප්‍රජාවක් ලංකාව තුළ සිටින බවත් ඒ අනුව නිවෙස් තුළ සිටින වැඩිහිටියන් මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික වැඩිහිටි නිවාසවල වෙසෙන වැඩිහිටියන්ද කොවිඩ් 19 රෝගය සඳහා වැඩි අවදානමක් ඇති කොටසක් බව හඳුනාගෙන ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

AV Rase

එබැවින් වැඩිහිටියන් විසින්, සෞඛ්‍ය අංශ ලබා දී ඇති සෞඛ්‍ය පිළිවෙත් නිවැරදීව අනුගමනය කිරීම ඉතා වැදගත් බව ඔවුන් පෙන්වා දෙයි.

හැකි සෑමවිටම තම නිවස හෝ වැඩිහිටි නිවාසය තුළම රැඳී සිටීමට වැඩිහිටියන් වගබලා ගන්නා ලෙසත් හැකිතාක් දුරගමන්වලින් වැළකී සිටීමට වගබලාගත යුතු බවත් දන්වා ඇත.

එමෙන්ම නිවසට හෝ වැඩිහිටි නිවාසයට අමුත්තන් ගෙන්වා ගැනීම මෙන්ම පිරිස් වශයෙන් එක්රැස්වීමෙන් වළකින ලෙසට දන්වා ඇත.

අන් අය ඇසුරු කිරීමෙදී දෙදෙනෙකු අතර අවම වශයෙන් මීටරයක පරතරයක් තබා ගන්නා ලෙසටද දන්වා තිබේ.

වරකට තත්පර 20වත් සබන් සහ වතුර යොදා නිවැරදි ක්‍රමය අනුගමනය කරමින් දෑත් සේදීමේ පුරුද්ද නිරතුරුවම පවත්වා ගන්නා ලෙසද අවධාරණය කර ඇති අතර ඇස්, කන්, නාසය ඇතුළු මුහුණ පෙදෙස නිතර ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසටද ඉල්ලා සිටී.

කහින විට සහ කිවිසුම් යන විට මුහුණ සහ නාසය වැළමිටෙහි ඇතුළු පැත්තෙන් ආවරණය කරගන්නා ලෙසත් නිවසින් බැහැරට යන සෑම විටම පිරිසිදු මුහුණු ආවරණයක් නාසය සහ මුඛය ආවරණය වන පරිද පළඳින ලෙසටද දැනුම්දෙයි.

දීර්ඝ කාලයක් බෝ නොව රෝග සඳහා ප්‍රතිකාර ලබා ගන්නේ නම් ඒ සඳහා වෛද්‍යවරුන් ලබා දී ඇති නිර්දේශිත ඖෂධ නොකඩවා ලබා ගැනීමට කටයුතු කරන ලෙසටද දන්වා තිබේ.

කැස්ස, උගුරේ වේදනාව, උණ හෝ හුස්ම ගැනීමේ අපහසුව ආදී ශ්වසනය ආශ්‍රීත රෝග ලක්ෂණ ඇත්නම් වහාම ළඟම ඇති රෝහලේ වෛද්‍යරයා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගෙන් උපදෙස් ලබා ගන්නා ලෙසටද දැනුම්දෙයි.

එවැනි අවස්ථාවකදී, ඊට ආසන්න කාලයේ සිදුකළ ගමන් විස්තර හෝ සමාජ සම්බන්ධතා තිබුණේ නම් ඒ සියල්ල අදාළ නිලධාරීන්ට දැනුම්දෙන ලෙසටද දන්වයි.

නිතරම සිත සැහැල්ලුවෙන් තබා ගැනීමට කටයුතු කළයුතු අතර සුව නිද්දක් හා පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාගන්නා ලෙසට වැඩිහිටි ප්‍රජාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තරුණ, වැඩිහිටි සහ ආබාධ සහිත ඒකකය සහ වැඩිහිටි මහලේකම් කාර්යාලය උපදෙස් දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button