ඔක්කොම මාව දාලා ගිහින් – මං දැන් තනි වෙලා – හිටපු අගමැති දේශපාලන පළිගැනීම් කොමිසමේ දී කියයි

“අපේ ආණ්ඩුව කාලේ හොරු අල්ලන්න ගියේ. අන්තිමට හොරු අල්ලන්න ගිය අයයි, මම හොරු ඇල්ලුවේ නෑ කියපු අයයි ඔක්කොම මාව දාලා ගිහින්. ‘මං දැන් තනි වෙලා’ යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පෙරේදා (4දා) පැවැසීය.
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වත්මන් රූපවාහිනි සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා යොමු කළ පැමිණිල්ලකට අදාළව කොමිසම හමුවේ පෙනී සිටිමින් හිටපු අගමැති වික්‍රමසිංහ මහතා එසේ සඳහන් කළේය.

යහපාලන රජය සමයේදී ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව පිහිටුවූ දූෂණ විරෝධී කමිටු කාර්යාලය පිළිබඳ කරුණු විමසීම සඳහා එදින කොමිසම හමුවට කැඳවූ හිටපු අගමැතිවරයා එම කමිටුවේ කළ ඇතැම් ක්‍රියා නීතියට පටහැනිව සිදුවන්නට ඇතැයිද ප්‍රකාශ කළේය.
ජාතික විධායක සභාව යනු නීතියක් යටතේ සම්පාදනය කළ ආයතනයක් නොවන බවත් එය 2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාට ආධාර උපකාර කිරීමට පැමිණි විවිධ දේශපාලනඥයන්, සිවිල් සංවිධානය හා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් බවත් හිටපු අගමැතිවරයා කොමිසම හමුවේ කියා සිටියේය.
එලෙස පිහිටු වූ දූෂණ විරෝධී කමිටුව මඟින් ලැබෙන පැමිණිලි මත අත්අඩංගුවට ගැනීම්, ප්‍රශ්න කිරීම්, අධිකරණයට ඉදිරිපත් කිරීම් මෙන්ම මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීම් මඟින් සැකකරුවන් සමාජයේ වැරැදිකරුවන් ලෙස හංවඩු ගැසෙනවා නේදැයි කොමිසමේ සභාපතිවරයා වික්‍රමසිංහ මහතාගෙන් එහිදී විමසා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් ‘මට වුණු දේ බලන්න, මට බැඳුම්කර හොරා කියලා කියන්නේ බැඳුම්කර විමර්ශන කොමිසමෙනුත්, පාර්ලිමේන්තුවෙන් කියලා තියෙනවා මගේ සම්බන්ධයක් නෑ කියලා. ඒත් මාධ්‍ය එහෙම හිතන්නේ නෑ. චෝදනාවක් එල්ල වුණාම එහෙම වෙන එක සාමාන්‍යයි’ යැයි හිටපු අගමැතිවරයා කොමිසම ඉදිරියේ කීය.
දූෂණ විරෝධී කමිටුව රැස්වීමට නිශ්චිත කාර්යාලයක් ලබාදෙන තුරු ඒ සඳහා අරලියගහ මන්දිරයේ කාර්යාලයක් ලබාදුන් බවද පැවසීය. ජාතික විධායක සභාව කිසිදු නීතියක් යටතේ පැනවූ ආයතනයක් නොවන බව පැවැසූ රනිල් වික්‍රමසිංහ මහතා ඊට අගමැති වශයෙන් තමා සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ඇමැතිවරුන් වන පාඨලී චම්පික රණවක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ දෙමළ සන්ධානයේ නායක ආර්. සම්පන්දන් ඇතුළු පිරිසක්ද සහභාගි වූ බවද ප්‍රකාශ කළේය.
මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සම අනුග්‍රාහකත්වය දැක්වූ 30/1 යෝජනාව අස්සන් කිරීම පිළිබඳවත් මෙහිදී කරුණු මතු කිරීමක් වූ අතර එම යෝජනාවන්ට අස්සන් කිරීම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු එවක රජයේ සියලු දෙනාම දැන සිටි බවත් වික්‍රමසිංහ මහතා සාක්ෂි දෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පහන් විජේසේකර – මව්බිම