ගොසිප් පුවත්

“එද‌ා පෙම්වතිය අද මගේ බිරිඳ වෙලා, ඇය තෑගි කළ කේක් එක කපන්නත් ලෝබ හිතුණා..” – හර්ෂණ දිසානායක

මම ඉපදිලා තියෙන්නේ නොවැම්බර් 6 දවසක රාත්‍රියේ 8.15ට වගේලු. කුරුණෑගල මහ රෝහලේ. ඒ දවසෙ වුණු සිදුවීම් දෙකක් අම්මා සඳහන් කරලා තියෙනවා. එකක් මාව ඉපදුනාම මගේ කිරිඅම්මා මාව බලන්න ආපු වෙලාවෙ මගේ ඇඳේ තව දරුවෙක් ඉඳලා තියෙනවා. ඒ දවසෙම ඉපදුණු ගැහැනු දරුවෙක්.


ඉතින් කිරිඅම්මා ගිහින් මුලින්ම ඒ දරුවාව තමයි භාරගෙන තියෙන්නේ. ඒ මොහොතෙ අම්මා මාව ලැබුණු අලුත අමාරුවෙන් කිව්වලු ‘අම්මේ එයා නෙවෙයි අනිත් කෙනා’ කියලා. ඉතින් මට ඒ අවස්ථාව මැවිලා පේනවා ඒ සිදුවීම ගැන විස්තර කරද්දී. මගේ හැම උපන්දිනයකම ඒ සිදුවීම ගැන අම්මා තවමත් මතක් කරනවා. හරි රසවත් දේවල් තමයි ඉතින් ඒවා. ඒ වගේම ඒ දවසෙ මහා වැස්සක් වැහැලා කුරුණෑගල යටවෙලා. මාව එක්කගෙන යන්න ආපු වාහනේ නැවැතිලා ගංවතුරට අහුවෙලා. ගෙදර සහෝදර සහෝදරියො එකතු වෙලා වාහනය තල්ලු කරලා ලොකු ක්‍රියාන්විතයකින් තමයි මාව ගෙදර ගෙනල්ලා තියෙන්නේ.”

දඟ වැඩ එහෙම කරද්දී අම්මා කියන්නෙ නැද්ද ‘මේ ළමයා ඇත්තටම මාරුවෙලා’ කියලා?
“එහෙම නම් කියලා නැහැ. නමුත් මම ඇත්තටම හරිම දඟයි. අම්මා ඉතින් අපිට තරවටු කරලා සැර කරලා තියෙනවා. මොකද අපි ගම්වලනෙ හැදුණේ. ඒ නිසා සමහර වෙලාවට ළමයින්ට නුසුදුසු බරපතළ විදියෙ දඟ වැඩ කරලා තියෙනවා. ඒ සමහර සෙල්ලම්වල අනතුරුද‌ායක බව නොදැන. ඒ වෙලාවට ඉතින් ඕනෑ තරම් ගුටි කාලා තියෙනවා. ඒ කාලෙ මගෙ දඩබ්බරකම් නිසාම මාව පාලනය කරගන්න මගේ පවුල්වල මගේ සහෝදර සහෝදරියො බොරු කියලා තියෙනවා මාව බෝක්කුවක් යට දිමියො කකා ඉද්දී මගේ අම්මා, තාත්තා මාව හාද‌ාගන්න ගෙනල්ලා තියෙන්නේ කියලා. ඒ කතාව කියද්දී මට හරියට තරහා යනවා. දුකත් හිතෙනවා. ඒත් ඒ දේ තමයි මට කිව්වෙ දඟ වැඩ කරද්දී. අපේ පවුල් පරම්පරාවෙ බාලයා මම තමයි. අනිත් ඔක්කොම මට වඩා අවුරුදු 10, 15, 20 වැඩිමල් පිරිසක්. ඉතින් ඒ නිසා හැමෝගෙම ඒ ආදරේ තිබුණේ මට තමයි.”

හර්ෂණට කවුද ඉන්නෙ සහෝදර සහෝදරියෝ?
“මගේ පවුලෙ මට හිටියෙ අයියයි, අක්කයි. අයියා මට වඩා අවුරුදු 15ක් වැඩිමල්. ඔහු 1976 වසරෙ ඉපදුණේ. අක්කා 1981. අක්කා මට වඩා අවුරුදු 10ක් වැඩිමල්. ඉතින් අම්මාට තාත්තාට පස්සේ ඒ දෙන්නගෙන් තමයි රැකවරණය ලැබුණේ ගොඩක් දුරට. අක්කා තමයි මාව උකුලෙ තියාගෙන ගමේ ඇවිදින්න එක්කන් ගියේ.”

එහෙනම් උපන්දිනවලට තෑගි බෝග ගොඩක් ලැබෙනවා ඇති?
“මම පොඩි කාලෙ දඟ වැඩ කරන හොඳම කාලෙ අයියා උසස් අධ්‍යාපනය සඳහා කොළඹ එනවා. ඒ කාලෙ මට ඔහුගෙන් ලැබෙනවා ලොකු දේවල්. මගේ රසවින්දනය, සෞන්දර්යය කියන තැනට පුදුම තරම් දේවල් එකතු කළා. කතන්දර පොත්, 70, 80, 90 දශකවල ප්‍රවීණයන්ගේ කැසට්පට. ඒ වගේ තෑගි තමයි ගොඩක්ම දුන්නෙ. අදටත් ඉතින් අයියාගෙන් අක්කාගෙන් ගොඩක් දේවල් ලැබෙනවා. අයියාත් අක්කාත් සංගීත විශාරදයන්. ඒ වගේම අක්කා නර්තනයත් කළා. අද දෙන්නම විවාහ පත්වෙලා දරුවො ලැබිලා සතුටින් ජීවත් වෙනවා.”

ගෙදර සාමාන්‍යයෙන් උපන්දින සමරන්නෙ කොහොම ද?
“අපි දඹදෙණිය, පොතුපිටිය කියන ග්‍රාමයේ හැදුණෙ වැඩුණේ. අදටත් බොහොම සුන්දරව තියෙනවා. දැන් නාගරීකරණය වුණත් ගැමිකම, ගැමි සුවඳ කියන දේ තියෙනවා. නමුත් අද ඉපදෙන ළමා පරම්පරාව ජීවත් වෙන්නෙ තාක්ෂණික ලෝකයත් එක්ත. අපිට තිබුණ ඒ සුන්දර අතීතය ඔවුන්ට නැහැ. අපේ ගෙවල්වල උපන්දිනයට ඒ කාලෙ ගෙදර අනිවාර්යයෙන්ම කිරිබතක් හදනවා. ඒ වගේම විශේෂිත කෑමක් වැලිතලප, කිරි අලුවා, කැවුම් වගේ ගෙදරට හැඩ වැඩ නිෂ්පාදනය වෙන රසවත් දේවල්. ඉතින් ඒ වගේ දවසට උදෙන් කිරිබත් හදලා උදේ පන්සල් යනවා. ඒ උනන්දුව ගොඩක් තියෙන්නෙ අම්මාට. ඒ වගේම නෑදෑ හිත මිත්‍රාදීන් එකතු වෙනවා. අපේ පරම්පරාව ඉන්නෙත් ළඟ ළඟනෙ. ඒ පවුල් සංස්ථාවත් එක්ක අපි හැමෝම එකතු වෙලා බොහොම සුන්දරව ගත කළා.”

එද‌ාට ගමේ යාළුවොත් එකතු වෙනවා ද?
“උපන්දිනේ කියලාම නෑ අපි හැමද‌ාම සෙල්ලම් කරන්න එකට එකතු වෙනවා. මට හොඳම යාළුවො 12 දෙනෙක් හිටියා. අදටත් ඒ අය එහෙමම ඉන්නවා. ගැහැනු පිරිමි පොදුවෙ හිටියා. ඉතින් අපිට උපන්දින කියලා විශේෂ වුණේ නැහැ. දෛනිකව කරන ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නෙ. සරුංගල් යවනවා, පොල් ගස් කැපුවම ඒවාගෙන් රෝද දෙකක් කපලා මැද්දෙන් පොල්ලක් දවටලා ඒකට කරුවක් ගහලා පුංචි කරත්තයක් වගේ එකක් හද‌ාගන්නවා. ඒකට කිව්වෙ රෝල් කොට කියලා. ඒවා පදින්න තමයි ලොකුම ආසාව. ඉතින් උපන්දිනේ දවසටත් පාසල් නොයා ඒ වගේ සෙල්ලම් කර කරා ඉන්න තමයි වැඩි කැමැත්ත තිබුණෙ. සමහර උපන්දින දවස්වලට කලින් දවසෙ කතා වෙනවා ඉස්කෝලෙ නොගිහින් සෙල්ලම් කරන්න එමු, ඇළේ නාමු, කුරුම්බා කඩමු, ඒ වගේ ඇට්ටර වැඩ ගැන. ඒත් ඉතින් ඉස්කෝලෙ නොගිහින් ඉන්න ලැබුණේ නම් නැහැ. ඉස්කෝලෙටත් ඉතින් ඒ වගේ දවස්වලට කැවුම්, කිරිබත් එහෙම ගෙනිච්චා මතකයි.”

ළමා කාලෙදිම හර්ෂණ බොහෝ දෙනෙක්ගෙ ආදරය දිනාගත්ත ගායන තරුවක් වුණා. ඒ වගේ විශේෂ දවසකට කොහොම ද සුබ පැතුම් එකතු වුණේ?
“ඒක ඇත්තටම මට බොහොම සතුටට කාරණයක්. ලංකාවෙ නන්දෙසින් හෘදයාංගමව එකතු වෙන සුබ පැතුම් මට ගොඩක් වටිනවා.

උපන්දිනය වගේ විශේෂ දවසකදී ඒ ලැබෙන ප්‍රතිචාර හරහා මට මතක් වෙන්නෙ මම පුංචි කාලෙ ක්ෂේත්‍රයට එද්දී මම ලබපු ඒ ආදරය. ඉතින් අදටත් මට ඒ වගේම උණුසුම් ප්‍රතිචාරයක් ලැබෙනවා. කලාකරුවකුට ඒ තරම් ආදරයක් සෙනෙහසක් ලැබීමම ලොකු වාසනාවක්. ඒ ආදරයට අපිත් ආදරෙයි.”

නොවැම්බර් මාසයේ උපත සිදුවීම ගැන මොකද හිතෙන්නේ?
“ඇත්තටම නොවැම්බර් මාසය මට හරි විශේෂයි. මේ මාසෙ මගෙ ළඟම ඉන්න කිහිප දෙනෙක්ගෙම උපන්දින යෙදිලා තියෙනවා. නොවැම්බර් 5, 6, 7, 8, 9, 10, 11 එක දිගටම උපන්දින. කොහොමත් මේ මාසයේ උපදින්නේ ගොඩක් කලා කටයුතුවලට ලැදි මිනිස්සු කියනවනේ. ඉතින් මම ඉපදුණු මාසෙට මම ගොඩක් කැමැතියි. වාසනාවන්ත මාසයක් කියලා හිතනවා.”

හර්ෂණ ටිකින් ටික උස් මහත් වෙලා තරුණ කාලෙට එනවනෙ? ඒ කාලෙදි තරුණයෙක් විදියට ආදරය කරන කාලෙදි පෙම්වතියගෙන් ලැබුණු උපන්දින සැමරුම් ගැන කතා කළොත්?
“ඇත්තටම ඒ ආදරය, සෙනෙහස එකතු වුණ තැන ඒ ලැබෙන හැමදේම ලොකු ශක්තියක්. ඒ ගැන සඳහන් කරන්න අමාරුයි. ඇයගෙන් කෑම, බීම, ත්‍යාග හැමදේම ලැබෙනවා. එද‌ා පෙම්වතිය අද මගේ බිරිඳ වෙලා.

මුලින්ම ඇයගෙන් මට ලැබුණා උපන්දින සුබ පැතුම්පතක්. ඒ ලැබුණ හැමදේම එකතුවක් මගේ ළඟ සුරැකිව තියෙනවා. මෑතකදී ඇය මට දුන්නා ඇගේ අතින්ම නිමැවුණු මැහුම් නිර්මාණයක්. ඉතින් ඇත්තටම මට ඒ හැමදේම ගොඩක් වටිනවා. එක් වතාවක් ඇය කේක් එකක් හදවලා තිබුණා මම කැමැති කාටුන් චරිතයක නිර්මාණයක්. ඒ මීමැස්සෙක්. ඒ වගේම චිත්‍රපටයක් තියෙනවා ට්‍රාන්ස්ෆෝමර්ස් බම්බල් බී කියලා කාර් එකක්. ඒවාට ගොඩක් ආසයි. ඉතින් ඒ විදියෙ කාටුන් චරිත කේක් මට ලැබුණා. ඒ කේක් එක මම කැපුවෙත් නැහැ. ඒ තරමටම ලස්සනයි. ඉතින් ඇය මට කතා කරන්නේත් ‘බීබී’ කියලා. සමහරු අහනවා ඇයි බීබී කියන්නේ, මෙයා ඒ තරම්ම බොනවා ද කියලත්. ඉතින් මම කියනවා නෑ මේ කාටුන් චරිතවලට කැමැති නිසා එහෙම කියන්නෙ කියලා.

ඇය මම වෙනුවෙන් මගේ කැමැත්තට ඒ වගේ දේවල් කරද්දී මම ඇය වෙනුවෙන් ගීතයක් ගායනා කළා ඇගේ උපන්දිනය වෙනුවෙන් ‘වසන්තය එනවා සත්තමයි’ කියලා. ඇයගෙ ඒ දවසත් මගේ උපන්දිනය වගේ තමයි.”

ප්‍රසංග වේදිකාවෙ එහෙම උපන්දින සමරලා නැද්ද?
“එක වතාවක එඩ්වඩ් ජයකොඩි මහත්මයා සහ චරිතා මහත්මියත් කීබෝඩ් වාදන ශිල්පී ශබ්ද පරිපාලක චතුර පෙරේරා සමඟ මමත් යුරෝපයේ ප්‍රසංගයකට සම්බන්ධ වුණා. ඒ 2010 වසරේ. ඒ කාල සීමාවේ මගේ උපන්දිනය යෙදිලා තිබුණා. ඉතින් මම ගොඩක් දුකින් හිටියෙ ගෙදර අයවත් යාළුවොවත් ළඟත් නැහැ, උපන් දිනේ දවසෙත් කවුරුත් ළඟ නැහැ කියලා දුකින් හිටියෙ. ඉතින් අපිට සංචාර ගියාම විවිධ ස්ථානවල සංග්‍රහ පවත්වනවනෙ. ඒ එක් තැනකදී රාත්‍රී කෑම කාලා අවසන් වෙලා හරියටම රාත්‍රී 12ට ඔක්කොම ඇවිල්ලා මට සුබ පතන්න පටන් ගත්තා. ඉතින් ඒ මොහොත මට ගොඩක් සතුටු හිතුණා. ඒ මොහොතෙ අපි හිටියෙ ඓතිහාසික වෙරෝනා නගරයේ. ඓතිහාසික කතා පුවත් බොහොමයක් තියෙන නගරයක්. එහි සිටි ලාංකිකයො බොහෝ දෙනෙක් සුබ පතද්දී මට ගොඩක් සතුටු හිතුණා. ඒ දවස මගේ මතකයේ රැඳුණු සුන්දරම උපන්දින මතකයක්.”

ධනු විජේරත්න

 

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button