දේශපාලන පුවත්

එජාප නායකත්ව අර්බුධය තවත් දිග්ගැස්සෙයි

එක්සත් ජාතික පක්‍ෂයට නව නායකයකු පත්කර ගැනීමට මේ දක්වා පැවැති සාකච්ඡා සියල්ල විසඳුමකින් තොරව අවසන් වීම හේතුවෙන් පක්‍ෂ අභ්‍යන්තරයේ පවතින නායකත්ව අර්බුදය ඔඩුදුවමින් පක්‍ෂයේ ජේ‍යෂ්ඨයන් අතරද උග්‍ර ගැටුමක් නිර්මාණය වී තිබේ.

පක්‍ෂ නායකත්වය ඇතුළු පක්‍ෂයේ වත්මන් තනතුරු උඩුයටිකුරු කරන වෙනසක් පාරම්පරික එජාප පාක්‍ෂිකයා කලක සිට අපේක්‍ෂා කළද, නායකත්වය සඳහා තනි පුද්ගලයකු ඉදිරිපත් වනවා වෙනුවට පක්‍ෂ ඉතිහාසයේ පළමු වරට පක්‍ෂ නායකත්වයට ජේ‍යෂ්ඨයන් අටදෙනකුගේ නම් යෝජනා වීම සහ ඔවුන් අතර පවතින බල අරගලය හේතුවෙන් මෙලෙස නායකත්වය තීරණය කිරීම ගැටලුවක් වී ඇති බව එජාප ජේ‍යෂ්ඨයන් රැසකගේ මතය වී තිබේ.

AV Rase

පසුගිය මහ මැතිවරණයෙන් එජාපය ලද අමිහිරි පරාජය හමුවේ පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 26 වසරක නායකත්ව වගකීමට සමුදී තරුණ නායකත්වයකට ඉඩදෙමින් පුළුල් පක්‍ෂ ප්‍රතිසංවිධානයක අවශ්‍යතාව පැහැදිලි කරමින් තරුණ නායකත්වයක් සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස එජාප මහලේකම්වරා මඟින් ඉල්ලීමක් කළේය.

ඒ අනුව මුලින්ම පක්‍ෂ නායකත්වය සඳහා රවි කරුණානායක, නවීන් දිසානායක, දයා ගමගේ, අකිල විරාජ් කාරියවසම්, පාලිත රංගේ බණ්ඩාර, වජිර අබේවර්ධන, අර්ජුන රණතුංග, රුවන් විජයවර්ධන යන නම් යෝජනා විය.

ඔවුනොවුන් අතර පසුව පක්‍ෂ අභ්‍යන්තරයේ නායකත්වයට පත්වීමට පැවැති කඹ ඇදීම හේතුවෙන් නායකත්වය තීරණය කිරීමට පැවැති සාකච්ඡා සියල්ල අවසන් වූයේ ජේ‍යෂ්ඨයන් අතර තිබූ ගැටුම් තවදුරටත් තීව්‍ර කරමිනි.

මෙකී පසුබිම මත ජේ‍යෂ්ඨයන් අතර සහ පක්‍ෂයේ අභ්‍යන්තරයේ සමඟිය තකා අන්තර්කාලීන එජාප නායකත්වයට හිටපු කථානායක කරු ජයසූරිය මහතා පත් කළ යුතු බවට යෝජනාවක් රැගෙන රවි කරුණානායක, අර්ජුන රණතුංග, පාලිත රංගේ බණ්ඩාර, කිත්සිරි මංචනායක, ජනාධිපති නිතිඥ රොනල්ඩ් පෙරේරා සහ කස්තුරි අනුරාධනායක යන මහත්වරුන් පිරිසක් හිටපු කථානායකවරයාගේ නිවෙසටද ගිය අතර එම යෝජනාවට ඒ අනුව හිටපු කථානායකවරයා පසුව එකඟත්වය පළ කළ බව වාර්තා විය. කෙසේ වෙතත් නායකත්ව අර්බුදය එසේ විසඳීයෑමේ ලකුණු පහළවී තිබූ පසුබිමක අවසන් එකඟතාවකට පැමිණීම සඳහා පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් අතර පසුගියදා (11දා) සිරිකොතේදී පැවැති තීරණාත්මක සාකච්ඡාවකදී යළිත් වරක් ගැටුමකට අර අඳිමින් හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන, කරු ජයසූරිය මහතාට අන්තර්කාලීන නායකත්වය ලබාදීමේ තීරණයටද දැඩි විරෝධයක් පළ කරමින් නායකත්වයට තමා සුදුසු යැයි කීම නිසා යළිත් වරක් මතභේදාත්මක තත්ත්වයක් මතුවී එකඟතාවකින් තොරව සියල්ලෝම විසිර ගියහ.

ඒ අනුව පක්‍ෂ නායකත්වය සහ මෙවර මහ මැතිවරණයෙන් පසු හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය කාහට ලබාදෙන්නේ දැයි අවසන් තීරණයට එළැඹීම සඳහා මෙම පසුබිම තුළ සිකුරාදා (14දා) පක්‍ෂ කෘත්‍යාධිකාරි මඩුල්ල යළිත් සිරිකොත මූලස්ථානයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූහ.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා කරු ජයසූරිය මහතා පක්‍ෂ අන්තර්කාලීන නායකත්වයට පත්කිරීම සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින්, මේ වන විට පක්‍ෂයෙන් ගිලිහී ගොස් ඇති සිංහල, බෞද්ධ ජන පදනම නැවත පක්‍ෂයට ආකර්ෂණය කර ගැනීමට කරු ජයසූරිය මහතාට හැකි බව පවසා තිබේ.

එමෙන්ම නව තරුණ නායකත්වයන්ට ඉඩදී පාක්‍ෂිකයන් දිනාගැනීමේ යාන්ත්‍රණය සැකසීම, සංවිධානාත්මකව ශක්තිමත්ව කළ යුතු බවත්, පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු කිරීමේදී පක්‍ෂයේ සමඟිය රැකෙන ලෙස තීන්දු තීරණ ගතයුතු බවත් අවධාරණය කර ඇත.

එහෙත් පක්‍ෂ නායකයාගේ දීර්ඝ විස්තර කිරීමෙන් අනතුරුව නැඟී සිට ඇති වජිර අබේවර්ධන මහතා, කරු ජයසූරිය මහතා අන්තර්කාලීන නායකත්වයට පත් කිරීමට තමන් මුලින් දැක්වූ විරෝධය එලෙසම පවතින බව පවසා තමාට පක්‍ෂ නායකත්වයට පත්වීමට සුදුසුකම් සියල්ල පවතින බවට දැඩි ස්ථාවරයක සිටිමින් අදහස් දක්වා ඇත.

පක්‍ෂය වෙනුවෙන් තමා කළ කැපවීම රනිල් වික්‍රමසිංහ, ජෝන් අමරතුංග, සිරිනාල් ද මැල්, සුනේත්‍රා රණසිංහ යන මහත්ම මහත්මීන් හොඳින් දන්නා බව මෙහිදී පවසා ඇති වජිර අබේවර්ධන මහතා, මීට පෙර ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සිට සියලු නායකයන් සමඟ තමා කටයුතු කර ඇති බවත් කිසි දිනක තමා පක්‍ෂය පාවා නොදුන් බවත් ප්‍රකාශ කර ඇත.

මෙහිදී තිලක් මාරපන මහතාද වජිර අබේවර්ධන මහතාට පක්‍ෂව කතා කරමින් ඔහු වැඩක් කළ හැකි අයකු බව පවසා තිබේ.

කෙසේ වෙතත් නවීන් දිසානායක මහතා පවසා ඇත්තේ පක්‍ෂ නායකත්වයට හොඳම විසඳුම කරු ජයසූරිය මහතා බවයි.

රවි කරුණානායක මහතා මෙහිදී පවසා ඇත්තේ ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් අවශ්‍ය බවත්, ඉදිරියට යෑමට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය බවත්ය.

සියලු දෙනා එක්ව ඉදිරියට යෑම අවශ්‍ය බවට රුවන් විජයවර්ධන මහතා මෙහිදී අවධාරණය කළ බවද වාර්තා වේ.

සියලු කරුණු සාවධානව අසා සිටි පක්‍ෂ නායකවරයා අලුත් කණ්ඩායමකට පක්‍ෂ බාරදිය යුතු බවත්, සුදුසුකම් ඇති අයට ඉඩ දිය යුතු බවත් අවධාරණය කරමින් අදහස් දැක්වුවවද මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමද අවසන් වූයේ නායකත්වය ගැන හෝ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය පිළිබඳව කිසිදු අවසන් එකඟතාවකට එළැඹීමකින් තොරව පක්‍ෂ ජේ‍යෂ්ඨයන් අතර පවතින සමඟියද දෙදරවමිනි.

මේ අතර එජාප මහ ලේකම් ධුරය සඳහාද කඩිනමින් වෙනසක් අවශ්‍ය බවට පක්‍ෂ අභ්‍යන්තරයෙන් කරු ජයසූරිය මහතාට හිතවත් පාර්ශ්වයන් දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටින බවත් ඒ සඳහා නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාගේ නම යෝජනා වී ඇති බවත් එ.ජා.ප. අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

පසිඳු මඩුලුපුර – මව්බිම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button