දේශපාලන පුවත්

එජාපය සහ සමගි බලවේගය හෙට වෙන වෙනම රැස්වේ

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය හෙට දිනයේදී වෙන වෙනම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් දෙකක් කැඳවා තිබෙනවා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයෙන් සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් යොමුකළ බවට පැවසෙන ලිපි මෙතෙක් ලැබී නැතැයි සමගි ජන බලවේගයේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළා.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

සමගි ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට නාමයෝජනා ලබාදී ඇති එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් සිය දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය සහ පක්ෂයේ දැරූ තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව එක්සත් ජාතික පක්ෂය ඊයේ නිවේදනය කළා.

වෙනත් දේශපාලන පක්ෂයකින් මැතිවරණ සඳහා නාමයෝජනා පත්‍ර භාරදීම ඇතුළු විනය කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා රැසක් එම ලිපියේ අන්තර්ගතව තිබෙනවා.

කෙසේ වෙතත්, හෙට දිනයේදී දෙපාර්ශවය වෙන වෙනම රැස්වන අතර, එහිදී මේ පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button