උසස් පෙළට පෙනී සිටින අයට සංචරණ සීමා බලපාන්නේ නෑ

නිරෝධායනය ඇඳිරි නීතිය පනවා තිබුණත් එම ප්‍රදේශවල සිට අපොස උසස් පෙළට පෙනී සිටින සිසුන්ට එහි බලපෑමක් නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඔවුන්ට සෞඛ්‍ය ආරක්ෂණ විදි නිසිලෙස භාවිතා කරමින් විභාගය සඳහා සහභාගී විය හැකි බව ද කියා සිටියේය.
මුහුණු ආවරණ පැළඳීම හා දුරස්ථභාවය රැක ගැනීම යන සිද්ධාන්තයන්ට වැඩි අවධානයක් දෙමින් කටයුතු කළ යුතුව ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
“පොලිස් වසම් 19ක ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා වගේම මතුගම ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 3ක් හුදකලා තිබෙනවා. මේ සීමාවන් මොනවා පැනවුවත් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් මේ ප්‍රදේශවල ඉන්න පුළුවන්. මතුගමත් ඉන්න පුළුවන්. ඒ අයට මේ සංචරණ සීමා බලපාන්නේ නැහැ. ඔවුන්ට සුපුරුදු පරිදි තමුන්ගේ විභාගයට සහභාගි වෙන්න පුළුවන්.“
මේ අතර, ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීති කඩ කළ පුද්ගලයින් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාලය තුළ රථ වාහන 05ක් පොලිස් භාරයට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ පසුගිය 04 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 302 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාලය තුළ රථ වාහන 53ක් පොලිස් භාරයට ගෙන තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19කට තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Source : Adaderana