දේශීය පුවත්

ඊයේ දිනට කොරෝනා මරණ 4ක් වාර්තා වෙද්දී ආසාදිතයින් 449 ක් හඳුනා ගැනේ – මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අලුත්ම තත්ත්වය මෙන්න

ඊයේ (07) දිනයේ නව ආසාදිතයන් 449 ක් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13,419 ක් දක්වා ඉහළ ගියා.
ඊයේ හඳුනාගත් ආසාදිතයන්ගෙන් 445 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, විදේශයන් හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි නාවිකයන් තුන්දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකුද වනවා.
ඒ අනුව තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන ආසාදිතයන් සංඛ්‍යාව 5,662 ක් වන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 7,723 ක්.


මේ අතර ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 4ක් ඊයේ වාර්තා වුණා.
කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මියගිය හතරදෙනාට අයත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එක් කාන්තාවක් කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42ක් වන අයෙක් අතර ඇය දීර්ඝ කාලීනව හෘද රෝගයකින් පෙලී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කර ඇත්තේ.
අදාළ කාන්තාවගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ හෘද රෝගය සමග කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමයි.
මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 69ක් වයසැති කාන්තාවක් ද මියගොස් ඇති අතර ඇය දීර්ඝ කාලීනව රෝගාබාධ රැසකින් පෙළී ඇතැයි සඳහන්.
එම රෝග තත්වය උත්සන්න වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම සමග නියුමෝනියා තත්වය උත්සන්න වීමයි.
මියගිය අනෙක් කාන්තාව ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි අයෙක්.
ඇය මිනුවන්ගොඩ ආසාදිතයෙකුගේ සමීප ආශ්‍රිතයෙක් බව සඳහන්.
නිරෝධායනය අතරතු ආසාදිතයෙකු ලෙසට හඳුනාගෙන ලග්ගල පල්ලේගම රෝහලට ඇතුලත් කර සිටියදී රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් අංගොඩ ජාතික උණ රෝහලට මාරුකර එවා තිබෙනවා.
එහිදී මියගොස් ඇති මෙම කාන්තාවගේ මරණයට හේතුව ලෙසට දක්වා ඇත්තේ කොවිඩ් 19 නියුමෝනියාව සමග ලේ විෂවීමක්.
මේ අතර මියගිය පිරිමි පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 67ක් වයසැති අයෙක් වන අතර ඔහු ද දීර්ඝ කාලීනව රෝගාබාධයන්ගෙන් පෙලී ඇතැයි අනාවරණ වී තිබෙනවා.
කෙටි දින ගණනක් උණ රෝගයෙන් පෙලී ඇති අතර නිවසේදී මරණයට පත් ඇතැයි සඳහන්.
මරණයට හේතුව වී ඇත්තේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම සමග නියුමෝනියා තත්වය උත්සන්න වීමක්.

 

AV Rase
මෙම මරණ 4ත් සමග කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button