දේශපාලන පුවත්

ඇමති විමල් සහ ජයන්ත කැටගොඩ අතර පාර්ලිමේන්තුවේ ගැටුමක්

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන  අද දිනයේ අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ මන්ත්‍රී ජයන්ත කැටගොඩ  අතර සභා ගැබෙන් පිටතදී උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව වාර්තාවේ.

මේ සඳහා හේතුවී ඇත්තේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු   පිරිසක්  විසින් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන වන ජයන්ත සමරවීර, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ, උද්දීක ප්‍රේමරත්න, මොහොමඩ් මුසම්මිල් යන අයගෙන්  කිහිප දෙනෙකුට බලපෑම් කිරීමේ සිදුවීමකි.

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු විසින් තමන්ට වරදාන , වරප්‍රසාද ලබා දෙන බවට කළ  බලපෑම් සම්බන්ධයෙන් පක්ෂ නායක විමල් වීරවංශ මහතා දැනුවත් කර ඇති අතර මෙම සිදුවීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පැමිණිළි කිරීමට පක්ෂ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු කර ඇත.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා විමසා ඇත්තේ එම බලපෑම් කළ මන්ත්‍රී වරු කවුරුන්ද යන්නයි. ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාද එම ස්ථානයට පැමිණ ඇති අතර විමල් වීරවංශ මහතා පවසා ඇත්තේ එසේ  බලපෑම් කළ පිරිස අතර ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාද සිටින බවය.

ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා  එම ස්ථානයෙන්  පිටව ගොස් ඇති අතර ජයන්ත කැටගොඩ සහ ඇමති විමල් වීරවංශ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇත. එය ගැටුමක් දක්වා දුර දීග යාමට මත්තෙන් එම ස්ථානයේ සිටි මන්ත්‍රීවරු මැදිහත්වී සමථයකට පත් කළ බවද එම  ආරංචිමාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.

Back to top button