ආසාදිතයන් 53 දෙනෙකු අද හමුවීම සුළුවෙන් තකන්න බැහැ – යුධ හමුදාපති

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම සමාජය තුළ කොරෝනා වයිරසයේ විෂබීජ පැතිරීම තවදුරටත් වැළැක්වෙන ආකාරයට කිරීමට කටයුතු යොදන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (01) පැවසීය.
අද දිනයේදී හමවූ කොරෝනා ආසාදිතයන් 22 ත් සමගින් පැය 24 ක් තුළ කොරෝනා ආසාදිතයන් 53 දෙනෙකු හමුවීම බැරෑරුම්ව සිතිය යුතු බවත්, ඉකුත් අප්‍රේල් 30න් පසු මේ දක්වා සමාජයෙන් කෝවිඩ් ආසාදිතයින් හඳුනා නොගත් බවත් එම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගැනීමට පියවර ගන්නා බවත් යුද හමුදාපතිවරයා කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව ඉදිකිරීම් රැසක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.
‘‘විදේශයන්හි සිටින සියලු ශ්‍රී ලාංකිකයින් මෙරටට රැගෙන ආ යුතුයි. ඒත් එය සිදුකරන්නේ ඉතාමත් පැහැදිලි ක්‍රමවේදයකට අනුව. ගුවන් යානයක එකවර පුද්ගලයින් 200 ක් – 300 ක් රැගෙන එනවා. ඒ තත්වය තුළ රෝගය පැතිරීමේ අවදානම වැඩි නිසා යම් පාලනයකට යටත්ව මෙම සංඛ්‍යාවන් වෙනස් කිරීමට සිදුවේවි.“
“විදෙස් රටවල සිටින මෙන්ම ලංකාවේ ජනතාව ද මේ තතත්වය තේරුම් ගතයුතුයි“ යයිද යුද හමුදාපතිවරයා පැවසීය.
“අද දිනයේ දී ආසාදිතයන් 53 දෙනෙකු හමුවීම සුළුවෙන් තකන්න බැහැ. අපි අප්‍රේල් 30න් පසු මේ දක්වා සමාජයෙන් කෝවිඩ් රෝගීන් වාර්තාවීම නවතා දැම්මා. ඒ වගේම ඒ තත්ත්වය තවදුරටත් ඉදිරියට පවත්වා ගතයුතුයි.“
“කනගාටුවට කරුණ නම් අපේ ජනතාව ඇතැම් ස්ථානවල ගැවසෙන්නේ කෝවිඩ් සදාකාලිනව තුරන් කළා වගේ. මේ වන විට සමාජයේ කෝවිඩ් පැතිරීම් සිදුවන්නේ නෑ. අපි මේ තත්ත්වය උදාකරගත්තේ බොහෝ කැපවීම් කරලා.
ලෝකයේ කෝවිඩ්-19 පාලනය කිරීම අතින් සාර්ථකම රට ශ්‍රී ලංකාව. ඒත් පිටරටින් එන අයගෙන් බෝවීම් වාර්තාවන නිසා තමා අපේ නම ඉහළින් සඳහන් නොවන්නේ.
මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා පෙර සේම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කියලා‘‘ යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී, රාජ්‍ය සේවය සඳහා රජයෙන් බඳවාගන්නා උපාධිධාරීන්ට නායකත්ව පුහුණුව ලබාදීමේ දී 500 කට පමණ දෙනාට නවාතැන් ගතහැකි නේවාසික සංකීර්ණයක්, පැසිපන්දු ක්‍රීඩාංගණයක් හා ගජබා රෙජිමේන්තු මධ්‍යථාන සේනාවිධායක සඳහා වන නිල නිවාසයක් ද විවෘත කිරීමට එක්වූයේය.
ගජබා රෙජිමේන්තු භූමියේ සකස් කෙරෙන ක්‍රිකට් තණතිල්ල ද මෙහිදී ඒ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
එම නේවාසික සංකීර්ණය, උපාධිධාරීන් පුහුණුකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ යුද හමුදාව සමඟ සහයෝගිතා පුහුණුවකට පාකිස්ථානයෙන් පැමිණීමට නියමිත හමුදා අංශ සඳහා නවාතැන් ලබාදීමටත්, ගජබා හමුදා සාමාජිකයින්ගේ නේවාසික අවශ්‍යතා වෙනුවෙනුත් භාවිත කෙරේ.