දේශීය පුවත්

අපි රතන හිමිගේ වැඩිහිටිකමට ගරු කරනවා කපටි කමට ගරු කරන්නේ නැහැ – ඥානසාර හිමි

මන්ත්‍රී ධුර තිබුණත් නැතත් සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් ආරම්භ කර තිබෙන ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට කැපවන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කොළඹ දී ඊයේ (14) පැවසූහ.

ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන් නීති අණපනත් සම්මත කරගන්න තැනට නියෝජනයක් ලබා දීම මන්ත්‍රී ධුරය අවශ්‍ය එකම කාරණාව බවත් පැවසූ උන්වහන්සේ මන්ත්‍රීකම අහිමි වුවත් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවද සඳහන් කළහ.

AV Rase

රාජගිරියේ සද්ධර්මරාජිකා විහාරස්ථානයේදී පැවැති සමුළුවකදී අදහස් දක්වමින් ඥානසාර හිමියෝ මේ බව පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ වැඩිදුරටත් මෙසේද පැවසූහ.

“අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අද රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. විවිධ පාර්ශව මාධ්‍ය හමු පවත්වමින් මේ ප්‍රශ්නය ස්වභාවය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් සිටිනවා.

බුද්ධ ධර්මය අනුවත් ප්‍රජාතන්ත්‍රවාදය අනුවත් ප්‍රශ්නයක් ඇති උනහම එය විසඳිය යුතු ක්‍රමවේදයක් තිබෙනවා. ඒ කිසිවක් අනුමනය නොකර ඇතැම් පාර්ශව මේ ප්‍රශ්නය විශාල අර්බුදයක් බවට පත් කරලා තියෙනවා.

ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන් නීති අණපනත් සම්මත කරගන්න තැනට අපේ නියෝජනයක් ලබා දීම තමයි අපිට මේ මන්ත්‍රී ධුරයේ අවශ්‍ය එකම කාරණාව. මේ මන්ත්‍රීකම මොනවා නැති වුණත් හෙට ඉඳලා අපේ වැඩපිළිවෙළ අපි ඉදිරියට ගෙන යනවා.

මට මේ මන්ත්‍රීධුරය තිබුණත් එකයි නැතත් එකයි. අපි මන්ත්‍රීධුර තියාගෙන වැඩ කරපු අය නෙමේයි. මන්ත්‍රී ධුර තිබිලා නැති වෙච්ච අයට තමයි දුක වැඩි. මේ ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්න අධිකරණවලට යන්නේ නැහැ. අපි ජනතා අධිකරණයට ගිහිල්ලා ජනතාවට ඇත්ත කියනවා. අපි මේ තැනින් දෙවෙනි ඉනිම පටන් ගන්නවා.

මේ ගැටලුව විසදන්නත් මේ ව්‍යාපාරය වෙනුවෙන් කැපවුණු මිනිස්සුන්ට උත්තරයක් දෙන්න කියලත් අපි රතන හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. සිංහල උරුමයෙත් කලා වගේ හෙළ උරුමයත් කළා වගේ දැනුත් ඒ දේම කළා. රනිල් වික්‍රමසිංහට වෙච්ච දේ තමයි අන්තිමේදී උන්වහන්සේට වෙන්නෙත්.

තමන්ට පාර්ලිමේන්තු යන්න මේ ව්‍යාපාරය මේ ජනතාව පාවිච්චි කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. රතන හාමුදුරුවෝ දැන් ව්‍යාපාර හදන්න කතා කරනවා. ඉස්සෙල්ලා ලේකම් හාමුදුරුවෝ හොයාගෙන මේ ප්‍රශ්න විසඳල ඉන්න කියලා අපි උන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. වැඩිහිටිකමට ගරු කරනවා කපටි කමට ගරු කරන්නේ නැහැ කියලා අපි උන්වහන්සේට කියනවා.

මේ ඡන්ද ව්‍යාපාරය හිටපු සියලුම පාර්ශව තමන්ගේ සේනාසනයට කැඳවලා කැමැත්තක් අකමැත්ත වීම විමසලා මේ ප්‍රශ්නය විසදන්න වහාම මැදිහත් වෙන්න කියලා අපි උන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.

සහරාන්ලට අපිව මරන්න බැරි උනාට අපේ උන් අපිව නොමර මරනවා. මේ සියල්ල දෙස අපි ඉවසීමෙන් උපේක්ෂාවෙන් ක්‍රියා කරනවා. මන්ත්‍රී ධුර තිබුණත් නැතත් අපේ ජාතික ව්‍යාපාරය අපි ඉදිරියට ගෙනියනවා. ඒ වගේම අපි වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයේදී කැපකරපු ජනතාවට ස්තූති කරන්නත් මම රට පුරාම යනවා” යැයිද උන්වහන්සේ පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button