අඟුලාන පොලිස් ස්ථානය අසල නොසන්සුන් තත්ත්වයක්

අඟුලාන පොලිස් ස්ථානය අසල ප්‍රදේශවාසින් හා පොලිස් නිලධාරින් අතර මේ වනවිට නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා අඟුලාන පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වේ.

මෙම උණුසුම්කාරී තත්ත්වය හට ගත්තේ ජනතාව පොලිසිය දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුවයි.
පසුගිය දා අඟුලාන ප්‍රදේශයේ දී සිදුවූ පොලිස් වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා අද(16) උදෑසන 5ට පමණ පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ ජීප් රථයකින් රැගෙන යාම හේතුවෙන් මෙම විරෝධතාවය සිදුකර ඇත.
පොලිසිය විසින් සාක්ෂිකරුවන් දෙදෙනා මොරටුව සහ ගල්කිස්ස පොලිස් ස්ථාන වෙත රැගෙන ගොස් තිබු අතර පසුව සාක්ෂිකරුවන් දෙදෙනා අඟුලාන පොලිස් ස්ථාන වෙත රැගෙනවිත් තිබුණි.
මොරටුව, ලුනාව ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා රථ වාහන පරික්ෂා කිරිමේ නිරත වූ පොලිස් නිලධාරින් පිරිසකගේ රාජකාරියට ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයකු බාධා කිරීම හේතුවෙන් පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්වුණි.
වෙඩි තැබීමෙන් ජිවිතක්ෂයට පත්වුයේ 39 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ අභ්‍යන්තර විමර්ශනවල දී අනාවරණය වූ කරුණු සැලකිල්ලට ගනිමින් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු සහ කොස්තාපල් රියදුරෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කිරීමට පියවර ගනු ලැබිය.